Friday, April 29, 2016

වියෝලය දරාගත් මිනිසා"හැරෙන්නේ කොයිබටද?

මගේ ”වියෝලය දරාගත් මිනිසා” කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව කපි එම් ගමගේ සොයුරා ලක්බිම ප‍්‍රතිභා පිටුවට ලියූ සටහන.

"වියෝලය දරාගත් මිනිසා"හැරෙන්නේ කොයිබටද?
___________________________________
කවියෙකුට සිය භාව ප්‍රකාශනය ආකාර කිහිපයක්ට ඉදිරිපත් කළහැකිය. ඇතැම් කවීන් සිය අනුභූතින් කාව්‍යෝක්තීන් බවට පත්කිරීමේදී ඒවා මනෝවිද්‍යාත්මක තලයක දා ඉදිරිපත් කරණු ලබයි. දාර්ශනික කාව්‍ය ප්‍රකාශණයන් (Philosophical Poetry) ලෙස ඒවා ගැනීම වඩාත් යුක්ති සහගත වේ. ඇතැම් කවීන් වඩාත් නැඹුරු වන්නේ සිය අත්දැකීම් සමාජ තලයන් හා චරිත හරහා ඉදිරිපත් කිරීමටයි. මේ ආරේ කවි සමාජ විද්‍යාත්මක කාව්‍ය (Sociological Poetry) ලෙස වෙන්කර හඳුනාගත හැකිය. නමුත් බොහෝ කවීන් මේ ආකාර දෙකටම තමන්ගේ භාව ප්‍රකාශණයන් කාව්‍ය ලෙසින් ඉදිරිපත් කිරීම දැකිය හැකිය. එසේ වුවද ඒ අතරින් තමන්ගේ රුචිය මතුවී තමන් වඩාත් ඇලුම් කරන ආරේ කවි බහුල වශයෙන් ලියවෙන්නේ කවියාට ද නොදැනීමය. මේ කුමන කාව්‍ය ප්‍රකාශණ විධියකින් වුව කවියා විසින් කරණු ලබන්නේ සිය රසික සමාජය පොදුවේ නොදකින, නොසිතන ජීවිතයේ විවිධ ඉසව් වෙත ආලෝක ධාරාවක් එල්ල කර ජීවිතය යනු මෙය යැයි පෙන්වාදෙමින් ඔවුන්ගේ ජීවිත පරිඥාණය වඩාත් පුලුල් කිරීමයි.
ජගත් ජේ. එදිරිසිංහ යනු දීර්ඝ කාලයක් පුරා විවිධ සාහිත්‍ය ශානරයන් ඔස්සේ සිය අත්දැකිම් පාඨක සමාජය වෙත මුදාහරින සාහිත්‍යකරුවෙකි. නවකතා, කෙටිකතා, යොවුන් කතා හා කාව්‍ය යන සාහිත්‍යාංග ඔහු සිය ආත්ම ප්‍රකාශණ මාධ්‍යයන් ලෙස භාවිතා කරණු ලබයි. කවියෙකු ලෙස ඔහුගේ තුන්වන කාව්‍ය සංග්‍රහය වන්නේ "වියෝලය දරාගත් මිනිසා" කාව්‍ය සංග්‍රහයයි. මීට ප්‍රථම "සිසිරයේ පිපුණ මල" හා "රාජාලි පියාපත" ඔහු විසින් රචිත කාව්‍ය ග්‍රන්ථ දෙකයි. ප්‍රථම කාව්‍ය ග්‍රන්ථ දෙකට වඩා පරිනත වීමේ ලක්ෂණ පෙන්නුම් කරන "වියෝලය දරාගත් මිනිසා" කාව්‍ය ග්‍රන්ථය තුල බහුල වශයෙන් දැකිය හැක්කේ මුලින් සඳහන් කල මනෝ විද්‍යාත්මක තලයෙහි මානව චෛතසිකයන් විශ්ලේශණය වන කාව්‍ය නිර්මාණ රැසකි. ඊට අමතරව සමාජයීය තලයෙහි සංසිද්ධීන් විග්‍රහ කෙරෙන කාව්‍ය නිර්මාණ කිහිපයක් ද මෙයට සංගෘහිත වේ. 

ජගත් සිය කාව්‍ය ග්‍රන්ථය අරඹන කවිය "විකල්" තුලින් ඔහු ශ්‍රී ලාංකීය තරුණයා දේශපාලනිකව හා සමාජයීය වශයෙන් තලා පෙලා දැමූ භීම සමයක් වෙත අප රැගෙන යයි.
"පිළී ගඳ රුහිරු වැගිරුණ බිම් පෙතක
දිලී නොපිපේය රතුමල් එක රැයෙක
ඇලී මෙබිම වැතිරෙන එක හදවතක
සැලීම ද රැඳේවිය ගිණි අවි තුඩෙක"
එක් සමයෙක් මෙබිම ගලා ගියේ තරුණ සිරුරු වලින් ගලාගිය රුධිර ගංගාවන්ය. එය එසේ වූවද අද ඉතිරිව ඇත්තේ කුමක් ද? ඒ දිවි පිදුමට සමාජ දේශපාලන අරුතක් එකව තිබේද?
"තවරලා අම මිහිර පුදකරන ඵල පෙනී
රැවටිලා රැඳෙනු කෙලෙසකද හිතකිනී
හිත පෙලා දවන දුක් කඳුල පෙනි පෙනී
නියඟලා මල් කොහිද අල මිසක සකියනී"
තව දුරටත් තරුණ දේශපාලනයට සිදුවන්නේ රැවටීම බසට මුලාවී හිඳීමටද? සත්‍ය පෙනි පෙනී සත්‍ය වසන් කෙරෙන කාලයක සත්‍ය නොසලකා හැර සිටීමටද? එය තමන් විසින්ම තමන් සිදුකරගන්න සිය දිවි හානි කර ගැනීමක් ද? ජගත් ප්‍රශ්න කර සිටින්නේ එයයි. මේ කවිය පුරාම කාව්‍යමය භාෂා භාවිතය කවියක අර්ථ සෞන්දර්ය ඉහළ නංවන ආකාරය මනාව කැපී පෙනේ. එම භාෂා භාවිතය නිසාම කවිය වාච්‍යාර්ථය ඉක්මවා ගොස් ගැඹුරු දේශපාලන අරුතක් සන්නිවේදනය කරයි. නමුත් එවැනිම දේශපාලන අරුතක් රැගත් "යදම් බැඳුනු මිනිස්සු" නිර්මාණය ජගත් අතින් හුදු වාගාලාපයක් ලෙස පමණක් නිර්මාණය වන්නේ. එය භාෂාවේ ඕජෝ ගුණය කැටිකරගත් භාෂා භාවිතයකට හසු නොවන නිසාය.
"විවර කවුළු දොර අතරින්
ලේ රතු දෑස යොමමින්
බලා සිටියා රහසින්
පායාදැයි තරුව විගසින්
යතුර උන් අතය සැඟවුණ
කිසිදා යළිදු නොදකින
කටුව සහ කිණිහිර ගෙන
පැමිණිය යුතුය විගසින"
ජගත් ගේ කවිත්වය මනාව කුළුගැන්වෙන නිර්මාණ දෙකක් මේ කවි එකතුවේ එයි. ඒ "බෝ ගසක මතකය" කාව්‍ය හා "සපත්තු දෙක" කාව්‍යයයි. "බෝ ගසක මතකය" කාව්‍ය අතීතකාමි නොස්ටැල්ජියානු කවියෙකුගේ පරිකල්පනීය සුන්දරත්වය මනාව කැටිකර ගත්තකි.
"පාගොඩ ගුරුපාර කන්දේ බැස ආ
සාමෙල් ගෙ කරත්තය නැවැත්තුව
නුගේ අහිමිව ගිය නුගේගොඩ
පාලුවට පැළවුණු අඳුරු කාක බෝධිය
අම්බලන්වත්තේ පොලට පොල් ගෙනා
සිසිලියානා පවා පහන් දැල්වුව"
ජගත් මේ පවසන්නේ ඉතා අතීතයේදී නුගේගොඩ බෝධිය මිනිසුන්ගේ අවධානයට ලක්වූ අයුරුයි. බෝධිය කාක බෝධියක් වුව පොලට පොල් වෙළඳාමට එන සිසිලියානාගේ පවා පුද සත්කාරයට බඳුන් වේ.
"හූ හඬ තලන රේල්ලුව
දිහාවත් ඇස් ඇර නොබැලුව
යෝධයෙක් වගේ හිස ඔසවාන
සිටි ආඩම්බරකාර තරුණ බෝධිය"
බෝධිය තරුණ කල එසේය. කිසිදු දෙයක් ගණන් නොගෙන විරාජමානව පුද සත්කාරයට බඳුන් විය. නමුත් දැන් බෝධිය වියපත්ය. නුගේගොඩ වෙනස් වී ඇත. කවුරුත් බෝධියට අවධානයක් නොදක්වයි.
"ගුවන් පාලම මුවාවේ
පාලුවට ගිය සිව්මංසලේ
මහල්ලෙකු සේ කේඩෑරි වී ගිය
දෑත් ඔසවා අසරණව
නොවැදගත් නෑයෙකු ලෙසින්"
එදා සිසිලියානාලාට වැදගත් වුවද අද කිසිවෙකු නොවැදගත් නෑයෙකු බඳුවූ බෝධිය අතීතාවර්ජනයේ නියැලෙන්නේදැයි කවියා අසයි.
"කාක බෝධියක් බව සැබැයි
පාපයක් නෑ ඒත් වැන්දට
බෝම දුක් කරදර වින්දටම නොවෙයි
නුගේගොඩ වියවුල දෙස බලා
මේ තරම් කාලයක් හිටියට"
කවියා අවසානයේ පවසන්නේ බෝධියට පුදසත්කාර කළයුත්තේ බොහෝ දුක් ගැහැට වින්දාට නොව මේ අවුල් වියවුල් සමසිතින් විඳදරාගෙන මෙතෙක් කලක් ජීවත් වූවාට බවයි. මෙය කිසියම් ආකාරයක ජීවන දර්ශනයක් මතු කරන කවියකි. පුද්ගල චරිතයක් වුව තරුණ කලදී අනෙකාගේ අවධානයට ලක්වුවද වයස් ගතවන විට ඒ අවධානයෙන් ගිලිහෙයි. නමුත් වයසගත වූවෙක් කාල විපර්යාශයන් දෙස බලන්නේ මැදහත් සිතිනි. ඔවුන් පූජනීය වන්නේ එබැවිනි.
"සපත්තු දෙක" නිර්මාණය ඉහත කාව්‍යටත් වඩා අපූරු සමාජ දේශපාලන අරුතක් කැටි කර ගත්තකි.
"තියෙනවනං වැඩිපුර
සපත්දෙකක් දීපං මට
අඩිය ගෙවුනු සපත්තු දෙක
ගෙයි දොරකඩ එළිපත මත
ගැලවූ පසු නුඹ කී හැටි"
නිවසට ගොඩ වෙන මිතුරා කවියාගෙන් ඉල්ලන්නේ සපත්තු කුට්ටමකි. ඔහු භාවිතා කරන සපත්තු යුගල ගෙවී ඇත. එය ගෙවී ගොස් ඇත්තේ ඇයි දැයි අපට වැටහෙන්නේ අනතුරුවය. හේ තමන් ඇදහූ දේශපාලනයක් වෙනුවෙන් කුසට අහරක් නොකා, ගතට සළුපිළි නොලා, පයට මිරිවැඩි නැතිව රට පුරා දේශපාලන කටයුතු වෙනුවෙන් ඇවිද ගිය තරුණයකි. මිතුරාගෙන් ඉල්ලාගත් සපත්තු දෙක පය ලාගත් තරුණයා ආපසු සිය දේශපාලන කටයුතු උදෙසා නික්ම යයි. නමුත් පසුව ඔහු මරා දමා ඇති බව සැලවේ.
"බෙල්ලන්විල
වෙළ අද්දර
කුණු ගොඩ ලඟ
ගිනි ගොඩ මැද
නුඹ හිටියලු
එක උදයක
මල් පුදන්න පන්සල් ආ
සැදැහැතියන් ඒ දුටුවලු"
ජගත් මෙතනදී අප තුල මනස් චිත්‍රයක් අඳියි. ඔහුගේ භාෂාව සරලය. උපමා රූපක වලින් තොරය. ව්‍යංගයෙන් බැහැරය. හරියටම ආටෝප සාටෝපයන්ගෙන් තොර තරුණයාගේ දේශපාලන ජීවිතය බඳුය. නමුත් වදන් පින්සල් පහර රිදුම් චිත්‍රයක් අප තුල අඳියි. කවිය අවසන ඔහු අප ඇසට කඳුලක් ද, සිතට සුසුමක් ද එක් කරයි.
"හිත් දොර ලඟ
එළිපත මත
අඩිය ගෙවුණ
සපත්තු දෙක
වද දෙනවා තවමත් මට"
"පිළිලයක්" නිර්මාණය ව්‍යංගය ඉතා අපූරුවට කැටිකොට වාච්‍යාර්ථය විනිවිදින තවත් අපූරු නිර්මාණයකි. බුදු දහම හා සාසනය වෙලා ගත් දේශපාලනය එයම දිනෙක විනාශ කරණ බෝධියක පැළවූ පිළිලයක් බඳු බව රචකයා ව්‍යංගයෙන් පවසයි. ජගත් ගේ කවිත්වය වඩාත් මිණිමුතුව නැගෙන්නේ ඔහු සමාජ කාරණා පදනම් කරගත් සමාජ විද්‍යාත්මක කාව්‍ය රචනයේ දී බව මේ කෘතිය තුලින් මනාව පැහැදිලි වේ. "වියෝලය දරාගත් මිනිසා" කෘතියේ එන "රතුපස්වල අම්මා", "ඉටිපන්දමක් අරන් එන්න", "නුඹ එන තෙක්" වැනි කාව්‍ය ඔහුගේ දාර්ශනික තලයේ කවි වලට වඩා කැපී පෙනේ. විශේෂයෙන් තමන්ගේ ඇතුලාන්තය හා බැඳුන අත්දැකීම් ප්‍රකාශයේදී ඒවායේ ඇති හෘදය සංවේදී බවට බාධා පමුණුවන්නේ ජගත් ඒ සඳහා භාවිතා කරන භාෂාවයි. භාෂාවේ ඇති ද්වණිගුණය භාවිතා කිරීමට ඔහු එහිදී අපොහොසත් වේ. මේ නිසා එබඳු කවි රාශියක් වාච්‍යාර්ථය ඉක්මවා යාමට අපොහොසත්ව දුබලව ඇදවැටෙන ආකාරය මේ කෘතියේ දැකිය හැකිය. නමුත් සමාජ සංසිද්ධීන් කවියට නැගීමේදී ජගත් වඩාත් සවිමත් කවියෙකු ලෙස නැගී සිටී. ඒ නිසා ජගත් ගේ අවධානය සමාජ සංසිදීන් හඹා යෑමට යොමුකරන්නේ නම් අනාගතයේ ඔහු අතින් අපූර්වත්වයෙන් පිරිපුන් කාව්‍ය නිර්මාණයන් බිහිවෙනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකිය.
කපිල එම්. ගමගේ
2016 අප්‍රේල් 28, බ්‍රහස්පතින්දා, ලක්බිම "ප්‍රතිභා"

1 comment:

  1. ජගත් ගේ වියෝලය දරාගත් මිනිහා මම ගිය සතියේ ගත්තේ.. (ඒ ගත්තෙත් මානව බ්ලොග් එක නිසයි.. හැක්) තවම කියවිමට වෙලාවක් නොපිලිපන් නිසා පසුව අදහසක් දක්වමි..

    ReplyDelete