Tuesday, November 7, 2017

ජයතිලක කම්මැල්ලවීර සූරීන්ගේ "චක‍්‍ර" කියවා ලියමි..



කම්මැල්ලවීර සූරීන්ගේ චක‍්‍ර නවකතාව නදී අපේ ගෙදරටම ගෙනැවිත් දී ගියේ පෙරේදා රැයේය. ඒ ත්‍යාගය මගේ සිතේ අපමණ සතුටක් ඇති කළ එකකි. පසුගිය දවස් දෙකේ රැ වැඩ කරන අතරේ පොත කියවා හමාර කළෙමි.


එක දිගට කියවා රස විඳින්නට හැකි චක‍්‍ර වෙනස්ම තේමාවක සිට ලියූවක් බව බැලූ බැල්මටම පෙනෙයි. පියා කවුදැයි නොදන්න දරුවකු ගේ කතාව කියන්නට කම්මැල්ලවීර මහතා පසුබිම් කරගන්නේ 1970 සිරිමා බණ්ඩාරනායකගේ රජය කාලයේ සිට හැත්තෑහතෙන් ඇරඹී වසර 17 ක් ගෙනගිය යූඑන්පී රජයේ අවසානය දක්වා කාලයයි. මේ කාලය තුළ දේශපාලනයේ මෙන්ම සමාජයේ වූ හැලහැප්පිලි සමගින් පැරණි වාමාංශික ව්‍යාපාරයේ ඇදවැටීමත් අනතුරුව බිහිවූ භීෂණ යුගයත් පිලිබඳවද ඔහු කතා කරයි. කැරලිකාරයන් අතින් තමා හදාවඩාගත් වාමාංශික නායකයා මරණයට පත්වීමෙන් පසු කතනායකයා ඔස්ටේ‍්‍රලියාවට පළා යාමත් ඉන්පසු ඔහු මුහුණ දෙන සිදුවීම් දාමයත් කම්මැල්ලවීර මහතා පාඨකයා වෙහෙස නොකරණ ශෛලියකින් ඉදිරිපත් කරයි.


කතාවේ අවසානයද අපූරුය. උතුරේ කැරලිකාරයන් අතින් සෙල්වා නම් වන ද්‍රවිඩ වාමාංශිකයා මරණයට පත්වීමත් දකුණේ කරළිකාරයන් අතින් මෙන්ඩිස් නම් වන සිංහල වාමාංශිකයා මරණයට පත්වීමත් නැවත නැවත කල්පනා කරන්නට වටිනා පසුබිමක් සකස් කරයි.



මාතලන් සිංහල චිත‍්‍රපටය තිරගතවූයේ 1955 දී ය. මදර් ඉන්ඩියා 1957 දී ය. කතානායකයා ඒ චිත‍්‍රපට දෙක නැරඹීම කතාව ගලායන කාලයට නොගැළපේ යයි මට දැනෙයි.



උතුරේ වේවා දකුණේ වේවා දේශපේ‍්‍රමී, දේශද්‍රෝහී, සමාජවාදී, ජනතාවාදී,  ,ලේබල යටතේ තොරොම්බල්වන තරුණ ජීවිත පිලිබඳව නැවත සිතන්නට පසුබිමක් "චක‍්‍ර" අපට සපයා දෙයි. විිවිධාකාර දේශපාලන උවමනාකම්වලට නැටවෙන් තරුණ පරපුර දෙස අනුකම්පාවෙන් බලන්නටත් උන් නටවන බලවේග දෙස චිවේචනාත්මක ඇසක් යොමු කරන්නටත් චක‍්‍ර අප පොළඹවන්නේ යයි මට සිතෙයි. එදා සිරිමා ගේ රජයට එරෙහිව දේශපාලනය ගැන මෙළෝ හසරක් නොදත් පාසල් ළමුන් වූ අප පාරට දක්කාගෙන ආ දේශපාලන බලවේගම අදත් පාසල් ළමුන් පාරවල දක්කන ආකාරය දකින විට චක‍්‍ර නවකතාවෙන් කතාකරන මේ දේශපාලනයේ සදාකාලික බව අපට පෙනෙයි.


පසු සටහන

ඔස්ටේ‍්‍රලියාවේ අවුරුදු 18ක් 19ක් සිංහල පත්තර කරන පත්තරකාරයකු බවට පත්ව සිටින මට අර කතානායකයාට හමුවන ඔස්ටේ‍්‍රලියාවේ පත්තරකාරයාගේ චරිතය හරහා කියවෙන සමහර කතා ගැන නම් සතුටක් ඇති නොවෙයි. ඔස්ටේ‍්‍රලියාවේ පළකෙරෙන කිසිම පත්තරයකට ඔස්ටේ‍්‍රලියා රජයෙන් සතපහක ආධාරයක් නොලැබෙන බව අවධාරණය කරන්නට කැමැත්තෙමි. නොමිලේ බෙදාදෙන මේ බොහෝ පත්තර දුවන්නේ ඒවා කරන මිනිස්සුන්ගේ ඇෙඟ් අමාරුවටය. නැත්නම් වෙනත්  ඕනෑ එපා කම් නිසා ය.

Wednesday, November 1, 2017

අපි නැවත වතාවක් මෙල්බන් ගුවන්විදුලිය සමස්ථ ඕස්ටේ‍්‍රලියාවේ හොඳම ජනවාර්ගික වැඩසටහන් අතරට ගෙනාවා

මෙයට වසර දෙකකට පෙර ගුවන්විදුලියේ සෙනසුරාදා උදෑසන සිංහල ගුවන්විදුලි වැඩසටහන මා බාරගන්නා විට එය තිබුණෙ කීපදෙනකු පමණක් අසන වැඩසටහනක් ලෙසයි. ඒ මොහොත මගේ හිතේ තිබුණෙ දැඩි අධිෂ්ඨානයක්.  ”මම කොහොම හරි මේක ගොඩ දානවා” කියන හැඟීම පමණයි මගේ හිතේ තිබුණෙ. ලොකු කමකට කියනවා නෙවෙයි. මට මා ගැන තියෙන්න දැඩි විශ්වාසයක්.

මම මුළින්ම මෙල්බන් ගුවන්විදුලියට සම්බන්ධ වුණේ 2000 අවුරුද්දෙ අසෝක සිල්වා සොයුරාගෙ නායකත්වයෙන් බිහිවුණ ගුවන්විදුලි කණඩායම සමගින්. එදත් අපි එතෙක් පැවති ගුවන්විදුලියේ පැහැදිලි වෙනසක් කළා. සෙනසුරාදා උදෑසන සිංහල වැඩසටහන පටන්ගත්තේ 2000 දි. ඉන්පස්සේ..... ඉන්පස්සේ.....ඉන්පස්සේ..... අවුරුදු දහයක් දොළහක් මගෙන් වැඩක්ගන්න තිබුණ අවස්ථාව පැහැර හැරියෙ කොහොමද?


මම වැඩකරන්න කැමති මනුස්සයෙක්. මට  ඕනෙ මගේ හැකියාවෙන් යමක් කරන්න. යමක් කරන්න තියෙන  ඕනෙ කම මට දරාගෙන ඉන්න බැහැ. ගුවන්විදුලියට මං ආසයි. ආදරෙයි. ඒ නිසයි තිසර නමින් ඔන්ලයින් ගුවන්විදුලියක් www.thisara.com පටන්ගත්තෙත්. අතින් වියදම් කරගෙන දැන් අවුරුදු පහකට වැඩි කාලයක් මම තිසර පවත්වාගෙන යනවා.

අවුරුදු දෙකකට පෙර සෙනසුරාදා ගුවන්විදුලි වැඩසටහන බාරගන්න කියලා ආරාධනාවක් ලැබුණ වෙලාවෙ අතීතය මත්තෙ හැපෙන්නෙ නැතිව අලූතින් ගමනක් යන්න මම හිතුවා.

මා ඉදිරියෙ තිබුණ ප‍්‍රධානම අභියෝගය සෙනසුරාදා උදේ ගුවන්විදුලියෙන් ඈත් වූ ශ‍්‍රාවක පිරිස නැවත ඇදගැනීම. ඔවුන් අවදි කිරීම. ඒ වෙනුවෙන් මං යම් ආකෘතියක් ගොඩනගා ගත්තා. මේ වැඩසටහනේ අපි ඉදිරිපත්කරනෙ අසන්නන්ගෙ හදවතට දැනෙන දේ විතරයි. ඒක අසන්නන්ට අල්ලලා ගියා.

www.shanidaa.com

මේ ගමන සාර්ථක කරගන්න උරදෙන්න තේජා කටුගම්පොළ එක්වීම මට මහත් ශක්තියක් වුණා. ඇගේ පළපුරුද්ද අපට විශාල ගැම්මක් දුන්නා. මේ සටහන ලියන අද උදේ මගේ සේවා ආයතනයේ සේවය කරන සුද්දෙක්  - සයිමන් - මට මෙහෙම කියනවා.

”මට උඹේ වැඩසටහනේ භාෂාව තේරෙන්නෙ නැති වුණාට ඒක කරන්නෙ උඹ නිසා මං සමහර වෙලාවට ඒක අහනවා. අර උඹත් එක්ක ඉන්න ගෑනු ළමයගෙ කටහඬට මං හරිම කැමතියි”

තේජාත් මාත් එකඟ වුණ ප‍්‍රතිපත්තියක් තියෙනවා. අපි දෙන්නම දැඩි ලෙස ඒ ප‍්‍රතිපත්තියේ ඉන්නවා. අපි මේ වැඩ සටහනේ මුල් තැන දෙන්නෙ වැඩසටහනට පමණයි. මෙතනදි තේජාටවත් මටවත් කැපී පෙනීමේ අවශ්‍යතාවක් නැහැ. වැඩසටහනට සාධාරණය කිරීම කියන කාරණයට පමණයි අපි මුල් තැන දෙන්නෙ. පුද්ගලික අජෙන්ඩා සහිතව අපට එක්වන අය අප සමග රැඳෙන්නෙ නැති බව අපි අත්දැකීමෙන් දන්නව.

අපි ගිය වසරෙ පළමුවතාවට සමස්ථ ඔස්ටේ‍්‍රලියාවේ සියලූම ජනවාර්ගික වැඩසටහන් අතරින් හොඳම වැඩසටහන තේරීමේ තරගයේ අවසන් වටයට ආවා. දැන් අපි දෙවන වතාවටත් මේ අවුරුද්දෙ ඒ තරගයේ අවසන් වටයට ඇවිත් තියෙනවා. අපේ සමාජයට අපට දෙන්න පුලුවන් දායාදය තමයි ඒ. 

”ඔන්න අපි ඔබේ ගුවන්විදුලි වැඩසටහන සමස්ථ  ඕස්ටේ‍්‍රලියාවේ හොඳම ජනවාර්ගික වැඩසටහන් අතරට ගෙනාවා”

හිතේ කුහක කමක් නැති ඔනෑම කෙනෙක් අප සමග සතුටුවන බව අපි දන්නවා.








































Tuesday, October 3, 2017

පොලිස් කතාවක්

පසුගිය සතිය පුරාම වරින් වර පොලීසිය පිළිබඳ විවිධ කතා අසමින් සිටියෙමි.  මෙයත් පොලිසිය පිළිබඳවම කතාවකි.  සිදුවුණේ ඈත අතීතයේදී ය.


මේ කියන යුගයේ මා පදිංචිව සිටියේ වැලිකඩ රාජගිරියේ පසුමල් පෙදෙසේ ය. මිරිහානේ පිහිටි එක්තරා ඉඩමක් විකිනීමෙන් ලද මුදලින් අපි සපුමල් පෙදෙසේ කාමර දෙකක් සාලයක් කුස්සියක් හා ගරාජයක් පමණක් තිබූ මේ කුඩා ගෙය මිලට ගත්තෙමු. මේ කියන යුගයේ මා මාර්ග සංවර්ධන අධිිකාරියේ සේවය කරමින් සිටි අතර රාජගිරියේ සිට  මරදනේ පිහිටි මගේ යාන්ත‍්‍රික කම්හලට යාම ඒමද ඉතා පහසු වූ බැවින් මේ නිවසට මම කැමති වීමි. මිරිහානේ පිහිටි මගේ ගෙදර කුලියට දීමෙන් අමතර ආදායමක් ලබාගැනීමට හැකිවීමද අපට සහනයක් විය.


මේ කුඩා නිවසට යාබදව තවත් ඒ සමානම නිවසක් තිබූ අතර එහි කිසිවකු පදිංචිව සිටියේ නැත. ඒ නිවසෙන් ඔබ්බේ වූයේ විශාල ගොඩනැගිල්ලක පශ්චිම භාගයයි.  ඒ විසල් ගොඩනැගිල්ල ප‍්‍රධාන පාරට මුහුණ ලා තිබුණ අතර අයිතිකරු ධනවත් වෙළෙන්දෙක් විය.

මේ ධනවතා තිස්ස දෙවේලේ "බුදු සරණයි" කියන හද්දා කපටියකු විය.

මගේ නිවසට යාබදව වසා ඇති නිවස මේ ධනවතා මිලට ගන්නේ එයින් ඔහුගේ විශාල ගොඩනැගිල්ලට ප‍්‍රවිශ්ඨ වන්නට තවත් මාර්ගයක් විවරවන බැවිනි.  එය මිලට ගෙන සති කීපයක් ඇවෑමෙන් ඔහු එය කඩා බිමට සමතලා කරන්නට පටන් ගත්තේ මගේ නිවසේ බිත්ති වලටද දැඩි ලෙස හානි කරමිනි. මගේ නිවසේ බිත්ති ඉරිතලා පුපුරා යාම නිසා දැඩි අවදානමක් මතුවිය. මා කීපවතාවක් අර වෙළෙන්දා හමු වී මේ ගැන කීවද ඔහු මගේ කීම් සතපහකටවත් මායිම් කළේ නැත.


ඉතින් නීතිගරුක පුරවැසියකු ලෙස මම පොලිසියේ පැමිණිල්ලක් කළෙමි.


පැමිණිල්ල අනුව මගේ නිවස පරීක්ෂා කරන්නට ආ පොලිස් නිලධාරීන් දෙදෙනා සිදුව ඇති හානිය ඇසින්ම දැක ගත්හ.


”මේක හරිම අපරාධයක්නෙ මහත්තයා.. අපි මේක ලොකු මහත්තයට රිපෝට් කරන්නම්” ඔවුහු කීහ.


පසුදා පොලිසියට එන ලෙස පොලිසියේ ස්ථානභාර නිලධාරියාගෙන් පනිවිඩයක් ලැබුණි. මම නියමිත වේලාවට පොලිසියට ගොස් ස්ථාන භාර නිලධාරියා හමුවීමි.


”මහත්තයට වෙලා තියෙන පාඩුව ගැන මට විස්තරයක් ලැබුණා. වැඬේ හරිම අසාධාරණයි තමයි.. මම පනිවිඩයක් යැව්වා ඔය කියන කෙනාට දැන් එන්න කියලා.. ආවාම අපි විභාග කරලා බලමු” ආගිය විස්තර ඇසීමෙන් පසු ඔහු කීවේ ය.


මද වේලාවකට පසුව අර කී වෙළෙන්දා පොලිස් ස්ථානාධිපතිගේ කාමරයට ඇතුල් වූයේ ය.


”ආ ( ....... නම...) මුදලාලි මහත්තයා.. මොකද අද මේ පැත්තෙ?” ස්ථානාධිපතිවරයා ඇසුවේ ය.

”මට එන්න කියලා පනිවිඩයක් එවලා තිබුණා.. ” ඔහු කීවේ ය.

”දෙයියෝ සාක්කි..  මුදලාලි මහත්තයගෙද මේ ගෙවල් කේස් එක” ස්ථානාධිපතිවරයා පුදුමයට පත්ව ඇසුවේ ය.

”මේකනෙ සර්.. මගේ ගේ කඩනකොට මේ මහත්තයගෙ ගෙයි පොඞ්ඩක් බිත්තියක් ඉරිතැලිලා ගියා.. මං කිව්වා  ඕව දුර දිග ගෙනියන්න  ඕනෙ නැහැ.. මං හදලා දෙන්නං කියලා.. කෙහෙද ඉතින් මේ මහත්තුරු  ඕව අහන එකක්යැ” මුදලාලි කියාගෙන ගියේ ය.

”ආ එහෙමනං ප‍්‍රශ්නයක් නැහැනෙ මහත්තයා” පොලිස් ස්ථානාධිපති ඒ කීවේ මට ය ”.. මේ මුදලාලි මහත්තයා ඉරිතැලිච්ච ඒව හදල දෙනවනං ප‍්‍රශ්නයක් නැහැනෙ”

”ඉරිතැලිච්ච තැන් උඩින් ප්ලාස්ටර් කරලා වැහුවට වැඩක් වෙන්නෙ නැහැ.. ඒ බිත්ති කොයි වෙලේ හරි කඩා වැටෙයි” මම කීවෙමි.

” ඕකනෙ සර් ප‍්‍රශ්නෙ.. මං මෙච්චර සාධාරන විදිහට ප‍්‍රශ්නෙ විසඳනකොට මේ මහත්තුරු ඒක පිලිගන්නෙ නැහැනෙ.. කොහොමත් මේව පරණ ගෙවල්නෙ සර්.. බිත්ති හයිය නැහැ තමයි..” මුදලාලි කියයි.


මුදලාලි තව තවත් දේ කියයි. පොලිස් නිලධාරියා ඒ සියල්ල අනුමත කරමින් මට උපදෙස් දෙයි. දැන් මා පැමිණිළිකාරයා නොව විත්තිකාරයා බවට පත්ව ඇති සැටියකි.


”මහත්තයා මේ දැන් මේ මුදලාලි කියන විදිහට එයා මේ බිත්ති රෙපයාර් කරලා දෙයි.. ඒක සාධාරණයිනෙ.. දැන් මං මේ මුදලාලිට කියන්නං මහත්තයා එක්ක කතා කරගෙන ඒ රෙපයාර් එක කරදෙන්න කියලා” ස්තානාධිපතිවරයා අවසාන නිගමනය දුන්නේ ය. ඔහුට ඉක්මණින් මේ කතාව අවසන් කරන්නට අවශ්‍යව ඇති බව මට දැනෙයි.


”ඉතින් ඉතින් මුදලාලි.. මේ සැරෙත් අපේ අවුරුදු උත්සවේට ස්පොන්සර්ෂිප් එක දෙනවා නේද?” මම කාමරයෙන් පිටව එද්දී ස්ථානාධිපතිවරයා අසනු ඇසුනි.


”මොනව අහනවද සර්.. අපි කවදාවත් ඒ වගේ වැඩ වලට පස්සට යන්නැහැනෙ” මුදලාලිගේ පිළිතුරද ඇසුණි.


මම කලකිරීමෙන්ම මගේ වාහනය වෙත ගියෙමි. මුදලාලි මා පසුපසින් පැමිණ වාහනය අසළ දී නැවතුණේ ය.


”මේ රටේ වැඩ කෙරෙන විදිහක් තියෙනවා මහත්තයා.. ඔයාලගෙ උගත් මොළේට ඒව දැනෙන්නෙ නෑ.. දැන්වත් ඒක තේරුම් ගන්න” ඔහු කී්වේ ය.


පොලිසියෙන් පිට වන විටම මම ඒ බව තේරුම් ගෙන සිටියෙමි.

Friday, September 29, 2017

ජයකොඩි සෙනෙවිරත්න සූරීන්ට බැතියෙන් ලියමි

මේ ලියන්නට යන කතාව වරින් වර විවිධ තැන් වල මම ලියා ඇත්තෙමි. එහෙත් නැවතත් ඒ කතාව සිහිපත් කරන්නට හේතුවක් මතුවී ඇත. එබැවින් වඩාත් සවිස්තරව ලියන්නෙමි.


උසස් පෙළ පන්තියට එව විට මා අතින් නවකතා හතරක් ලියැවී තිබුණි. මොනිටර් අභ්‍යාස පොත් වල අතින් ලියූ මේ කතා ඉතා ප‍්‍රාථමික මට්ටමේ තිබෙන්නට ඇතැයි අද මට සිතෙයි. පළමු නවකතාව රහස්පරීක්ෂක නවකතාවකි. ඞීමන් ආනන්දගේ ඩිකී වීරකෝන් රහස් පරීක්ෂකයා අනුකරණය කරමින් මවිසින් නිර්මාණය කරගත් රන්දෙණිය නම් වූ රහස් පරීක්ෂකයකු වටා මේ කතාව ලිව්වෙමි. එවකට මා සිටියේ හතේ පන්තියේ යයි සිතමි. ඉන්පසුව ලිව්වේ ”ලන්දෙගම” නම් වූ නවකතාවයි. කැලෑවෙන් වටවී ගත් ගමක කතාවකි. එය කියවන විට කෙනෙකුට මුදලිනායක සෝමරත්න මහතාගේ මුවන්පැලැස්ස සිහිපත් නොවුණානම් පුදුමයකි. තෙවෙනුව ලිව්වේ ලන්දෙගම කතාවේ දෙවන කොටසයි. එය ”අලූත් ඉරක් පායලා” නම් විය. එය නම් මගේම යයි කට පුරා කිව හැකි ස්වතන්ත‍්‍ර නිර්මාණයකි. ලන්දෙගම වීරයා වූ ටිකිරා ගමට පාසලක් හදන්නට ගත් මහන්සිය මේ කතාවේ කියැවිණි. මේ කතාව ලියන විට මා සිටියේ සාමාන්‍ය පෙළ පන්තියේ විය යුතුය. දැන් මම ගැටවර වියට එළැඹෙමින් සිටින්නෙමි. ආදර කතාවක් ලියන්නට සුදුසුම සහ අවශ්‍යතාව තිබූ කාලයයි. ඉතින් මම ලිව්වෙමි. කතාවේ නම මතක නැත.


කතාව ගෙතුණේ සංගීත කණ්ඩායමක් වටා ය. මේ වන විට රුසියාවේ ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටි මගේ අයියා කුමාර් නිවාඩුවට ආ වෙලාවක බොක්ස් ගිටාරයක් ගෙනැවිත් තිබුණි. ඔහු එහි ශ‍්‍රී ලාංකික සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා විය. අපි ඒ ගිටාරයට වහ වැටී සිටියෙමු. තවත් මිතුරන් කීප දෙනෙකු සමගින් ”සමර් නයිට්ස්” නමින් සංගීත කණ්ඩායමක් පිහිවුටා ගත්තේ මේ කාලයේ දී ය. පසුව යුද හමුදා බටහිර සංගීත කණ්ඩායමට එක් වූ අපේ මිතුරා කිත්සිරි ගුණතිලක අපේ ගිටාර් ගුරුවරයා විය. (අදත් අප ගයන සමහර ගීත අප පළමු වරට ඇසුවේ කිත්සිරි ගෙනි. ඒ නිසා ඒ සමහර ගීත අදත් අප ගයන්නේ මුල් ගායකයාගේ ශෛලියට නොව කිත්සිරිගේ ඌරුවටය. හොඳම උදාහරණය වික්ටර් රත්නායක සූරීන්ගේ ”සඳකැන් වැටිලා” ගීතයයි) අපේ බර්ගර් මිත‍්‍රයකු වූ ටෙ‍්‍රවෝ ඩ‍්‍රම්ස් වාදනය කළ අතර අපේ මල්ලී - මංගල - ගායකයා විය. මම කොහොමින් කොහොමින් හෝ රිදම් ගිටාර් වාදකයා වීමි. අපටය කියා විද්‍යුත් සංගීත භාණ්ඩ නොවී ය. අපි මාසයකට සැරයක් පමණ බම්බලපිටියේ පිහිටි ස්ටුඩියෝවක් පැය ගාණට වෙන් කරවාගෙන විද්‍යුත් සංගීත භාණ්ඩ පුහුණුව ලද්දෙමු. තවමත් අධ්‍යාපනය ලබන රැකියා විරහිත තරුණයන් වූ අපට මේ වියදම දැරිය නොහැකි තරම් විශාල එකක් විය.


මේ අත්දැකීම් පාදක කර ගනිමින් මම මගේ හතරවන නවකතාව ලිව්වෙමි. ඒ කතාව ඒ කාලයේ මගේ හිතටද ටිකක් අල්ලලා ගිය කතාවක් විය. 😊


නවකතා කියවන්නට තරයේ ඇබ්බැහි වී සිටි මගේ අතට ජයකොඩි සෙනෙවිරත්න සූරින්ගේ ”මල් මැණීකේ” නවකතාව ලැබෙන්නේ මේ කාලයේ ය. මට වැදගත් වූයේ කතාවට වඩා කතාවේ අගට තිබූ පසුවදන ය. තමා දයාවංශ ජයකොඩි මහතාගේ සහයෝගයෙන් ආධුනික නවකතාකරුවනට දුන් සහය පිලිබඳව සටහනක් සෙනෙවිරත්න මහතා එහි ලියා තිබුණි. එහි තිබූ ලිපිනයට මම ලිපියක් ලියා යැව්වෙමි. මා නවකතාවක් ලියා ඇති බවත් එය මුද්‍රණය කරවාගන්නට අවශ්‍ය බවත් මම ලිව්වෙමි. සෙනෙවිරත්න මහතා මට හැරෙන තැපෑලෙනි පිලිතුරු ලිපියක් එව්වේය. පොත කියවා බලන්නට තමන්ට එවන්නැයි ඔහු ඉල්ලා තිබුණි. මම මගේ නවකතාව එතුමන්ට තැපැල් කර යැව්වෙමි. තවත් සතියකට දෙකකට පසු නැවතත් ලිපියක් ලැබුණි. පොත කියවා බැලූ බවත් පැමිණ තමන් හමුවන ලෙසත් මට දන්වා තිබුණි. ඒ කාලයේ එතුමන් පදිංචිව සිටියේ පානදුර වලානේය.


නුගේගොඩ සිට පානදුරට යාම අපහසු නැත. 183 බසය යන්නේ නුගේගොඩ සිට පානදුරට ය. එක්තරා දවසක මම එම බසයේ නැගී මේ මහා සාහිත්‍යවේදීයා සොයා ගියෙමි. පෙරේරා ඇන්ඞ් සන්ස් චොක්ලට් රෝලක්ද තෑගි ලෙස ගෙන ගියෙමි.


පානදුර ගාලූපාරේ වලාන බුදු පිලිමය අසළින් බසයෙන් බැස සුහද මාවතේ පිහිටි සෙනෙවිරත්න මහතාගේ නිවසට යනවිට දහවල් වී තිබුණි. මා සාදරයෙන් පිලිගත් එතුමන් මා සාලයේ වාඩි කරවා ගෙන මගේ පොත ගැන අදහස් දක්වන්නට විය. ඔහු කියූ එක් අදහසක් අදත් මම නිතර නිතර සිහිපත් කරමි. ”ජගත් ලියන භාෂාවට මං කැමතියි” අපූරුය.. එය ආධුනික ලේඛකයකු වූ මට විශාල ජවයක් ලබාදුන් අදහසක් විය.


පැයක පමණ අදහස් දැක්වීමකින් පසු එතුමා තමන්ගේ නිගමනය දුන්නේ ය.


”ඉක්මණින් පොත් අච්චුගහන්න මහන්සි වෙන්න එපා ජගත්.. දිගටම ලියන්න.. ඔයාට තව  ඕනෙ තරම් කාලය ඉස්සරහට තියෙනවා”


ආධුනික ගැටවර ලේඛකයකුගේ නවකතාවක් කියවා ප‍්‍රවීණ සාහිත්‍යධරයකුට එසේ නොසිතුනානම් පුදුමය එයයි. එතුමන්ගේ අදහස ගැන මට කණගාටුවක් නොවීය. මා සිටියේ සතුටින් බව මට අදත් මතක ය. සමහර විට එතුමා මගේ නවකතාව එකහෙළා බැහැර නොකර එහි සාධණීය ලක්ෂණ ඉදිරිපත් කර මා දිරි ගැන්වූ නිසා විය හැකි ය. ඒ අතරවාරයේ මගේ අඩුපාඩු ද පෙන්වා දෙන්නට ද එතුමා නොපැකිලූණේ ය. ඒ අවංක බවට මම කැමැත්තෙමි.


ඉක්මණින් පොතක් අච්චුගසා ලේඛකයකු ලෙස සලූවෙන්නට මගේ සිතේ තිබූ මහා අභිප‍්‍රාය මම යටපත් කර ගත්තෙමි. දිගින් දිගටම පුවත්පත් වලට සඟරාවලට ලියමින් සිටියා විනා පොතත් මුද්‍රණයෙන් එළිදක්වාගන්නට උනන්දුවක් තව දුරටත් මගේ සිතේ නොවී ය.


මුද්‍රණයෙන් නිකුත් වූ මගේ පළමු පොත - ”කන්ද උඩ මාළිගාව” කෙටිකතා සංග‍්‍රහය - නිකුත්වන්නේ මේ සිදුවීමෙන් වසර විස්සකට පමණ පසුව ය.



ජයකොඩි සෙනෙවිරත්න මහතා වැනි ආධුනිකයනට අත දෙන නිර්මාණකරුවන් අපේ රටේ විරල ය. අපේ සමාජයෙන් නිසි අගැයීමක් නොලද මේ මහා ලේඛකයා පිළිබඳ මගේ කතාවට සමාන කතා බොහෝ තිබෙන බව මම දනිමි. එතුමන්ගේ නවකතා ශෛලිය ලියනගේ අමරකීර්ති ලේඛකයා හඳුන්වා දී තිබුණේ ”අධිවිධග්ධ නොවන අති සරලද නොවන කතා කලාවක්” ලෙස ය. සිංහල නවකතා ක්ෂෙත‍්‍රයට කියවන්නන් කැඳවගෙන ආවෝ මේ ශෛලියෙන් ලියූ ජයකොඩි සෙනෙවිරත්න, කරුණාසේන ජයලත්, කරුණාරත්න සපුතන්ත‍්‍රී, කුමාර කරුණාරත්න, ජයසේන ජයකොඩි, එඞ්වඞ් මල්ලවාරච්චි (මේ නම් වැළ තවත් දිගය) වැනි ලේඛකයෝ වෙති. අවාසනාවට අපේ විදග්ධ සමාජය මේ ලේඛකයන් දෙස ඇස හැර බලන්නටවත් අකැමැති ය. කල්පනාවෙන් බලන විට පෙනී යන්නේ මේ විදග්ධ සමාජයමේ අපූරු ලේඛකයන් හා ඔවුන්ගේ රසවත් නිර්මාණ පිලිබඳව කතා කිරීම පවා තමන්ගේ තත්වයට නොගැළපෙන මට්ටමේ දෙයක් ලෙස සළකන බවකි. එසේ වුවද සිංහල සාහිත්‍ය කෘති කියවන පාඨක පිරිස දහස් ගණනින් කැඳවාගෙන ආවේ කැඳවාගෙන එමින් සිටින්නේ මේ දක්ෂ නිර්මාණකරුවන් ය යන්න සැඟවිය නොහැකි සත්‍යයකි.


ජයකොඩි සෙනෙවිරත්න සූරීන් වෙනුවෙන් අගැයීමේ අළෙලක් සංවිධානය කිරීම අපට මහත් සතුටක් ගෙන දෙයි. ඔබ සාහිත්‍යයට ආදරය කරන අයෙක් නම් ඔක්තෝබර් 10 වන දා සවස 3 ට මහවැලි කේන්ද්‍රයට යන මෙන් මම ඉල්ලා සිටිමි. එය අපේ යුතුකමකි.

ජයකොඩි සෙනෙවිරත්න සූරීනි.. ඔබට දීර්ඝායුවේවා..

Wednesday, September 13, 2017

වැඩසිටි කන්දේ මතකය

කතරගම වැඩිහිටිකන්ද (වැඩසිටිකන්ද) මුදුනට මිනිසුන් ගෙන යන වාහනයක් පෙරළීමෙන් සිදුවුණ අනතුරක් ගැන වාර්තාවක් පසුගිය දවසක කියවන්නට ලැබුණි. මෙයට වසර කීපයකට පෙර අපත් මෙවැනිම වාහනයකින් වැඩිහිටිකන්ද මුදුනට ගිය දිනයේ මේ ගමන අනතුරුදායක බව මම තේරුම් ගතිමි. දුහුවිලි කාගෙන වාහනයකින් කන්ද නැගීමේ අත්දැකීමේ කිසිදු සොඳුරු මතකයක්ද ඉතිරි නොවී ය.

සොඳුරු මතකය ඇත්තේ අප කුඩා අවදියේ ය. ඒ මතකය සොයා යමි.


අප කුඩා අවදියේ වසරකට වරක් වැඩිහිට කන්දට දානයක් දීමේ පුරුද්දක් අපේ තාත්තාට විය. තාත්තා ඒ සඳහා ලියාපදිංචි වී සිටි අතර වසරකට වරක් තාත්තාගේ දිනය දන්වා ලිපියක් ලැබුණ බව මගේ මතකය කියයි. ඒ නියමිත දවස පුරා වැඩසිටිකන්ද නැගීමට පැමිණෙන සියලූම සැදැහැතියන්ට දානය සැපයීමෙන් තාත්තා මහත් සතුටක් ලැබුවේ ය.


නියමිත දිනයට දිනකට දෙකකට පෙර ලොරියක හාල් පොල් එළවලූ ඇතුළු සියලූ කළමනා පටවාගන්නා තාත්තා දානයට උපකාරවන පිරිසත් අපත් තවත් වාහනයක නංවාගෙන කතරගම වැඩසිටි කන්ද බලා යයි. ලොකු මිනිසුන් දානය සකස් කරන අතර කඩා අපි වැඩසිටිකන්ද නැගීමට පටන් ගනිමු.


එදවස මේ කන්ද නැගීමට පඩි පෙළක් හෝ නොවී ය. තිබුණේ මිනිසුන්ගේ ගමන නිසා ඇතිවුණ අඩි පාරක් පමණකි. කන්ද ආරම්භවන තැන ගසක් වටා හැරමිටි ලෙස පාව්ච්චි කළ හැකි ලී දඬු විශාල ප‍්‍රමාණයක් තබා තිබුණි. කන්ද නගින්නන් පහසුව සඳහා මේ ලී දණ්ඩක් රැුගෙන යති. රළු මගෙහි උඩට යන්නට ඒ ලී දඬු මහත් පහසුවක් විය. කන්ද මුදුනට යන තෙක්ම මග දෙපස කැලෑව ය. අපි කැළැවේ ගඩා ගෙඩි කඩා කමින් කන්ද නගිමු.


කන්ද නගින දෙමළ මිනිසුන් අනුකරණය කරමින් ”හරෝ හරා..” යයි කෑ ගසමින් කන්ද නැගීමෙන් ලැබුණ සතුට අපමණ ය. ”හරෝ හරා... අරූ හොරා..” යයි වරෙක කෑ ගැසූ මල්ලිට තරවටුවක් ලැබුණ අයුරුද මට මතක ය.


ඒ කාලයේ අපේ ගෙදර මේසයක් මත කුඩා ලී පෙට්ටියක් විය. ගමනක් ගොස් ගෙදරට එන තාත්තා තමාගේ සාක්කුවේ තිබෙන සියලූම මාරුකාසි මේ පෙට්ටියට දමයි. වසරක් යනවිට පෙට්ටිය පිරෙන්නට මාරු කාසි ය. වැඩිහිටි කන්දේ දානයට යන විට මේ ලී පෙට්ටියද ගෙන යන්නට තාත්තා අමතක නොකරයි. කඳු පාමුළ දී තාත්තා ඒ ලී පෙට්ටිය අපට දෙයි. සිඟන්නන්ට කාසි බෙදන්නටය. අපි අතට අසුවන ප‍්‍රමාණයක් කාසි ගෙන සිඟන්නන්ට බෙදන්නෙමු.


සවස් වන විට අපි අවම වශයෙන් දෙවතාවක් වත් කන්ද උඩහ පහළට නැග බැස අවසන් කළෙමු. කන්ද මුදුණේ දැන් මෙන් ගොඩනැගිළි නොතිබුණි. කුඩා දේවාලයක් වැනි මඩුවක් පමණක් තිබූ බව මගේ මතකය කියයි.


ඒ සියල්ල ඉතා සරළ ය. නිස්කලංක ය. සුන්දර ය.


දුක් මහන්සියෙන් බොරළු අඩි පාර දිගේ කන්ද තරණය කර අප එදා ලැබූ සතුට අද වාහනයකින් කන්ද නගින විට හෝ පඩි නැග කන්ද නගින විට හෝ නොදැනෙයි. අද මේ කන්ද නගින මිනිසුන් දකින විට මසිතට දුකක් ඇතිවන්නේ ඒ නිසා ය.


පසු සටහන

තාත්තා වසරක් පාසා වැඩසිටි කන්දට දානයක් දෙන්නට යම් හේතුවක් තිබෙන්නට ඇතැයි අද මට සිතෙයි. එය එක්තරා පේ‍්‍රමකතාවක කොටසකි. ඒ කතන්දරය ලියම්දෝ නොලියම්දෝයි සිතමින් සිටින්නේ ඒ කතාවට සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින්නන් අපහසුවකට පත්කරන්නට සිතේ ඇති අකැමැත්ත නිසා ය.  

 

Wednesday, August 30, 2017

චීන යුවතියන් තිදෙනෙකුගෙන් පාඩම් තුනක්

ක්වින්ෂියා නම් වූ චීන යුවතිය මට මුණ ගැසුණේ මා මෙල්බන්හි ස්වින්බර්න් විශ්ව විදයාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිය හදාරමින් සිටියදී ය. චීනයට ආවේනික වූ දිග ඇඳුමක් ඇඳ සිටි ඈ සුන්දර යුවතියක වූවා ය. අප දෙදෙනාම එකම කණ්ඩායමක සිටි නිසා නිතර නිතර අපට හමුුවන්නට කතාකරන්නට  සිදුවිය.


විශ්ව විද්‍යාලය ආසන්නයේ කාමරයක් කුලියට ගෙන සිටි ඇය බොහෝ දේ විවෘතව මා හා කතා කළා ය. උපාධිය හොඳින් නිමකර ආපසු සිය රටට යාම ඇගේ සිහිනය විය.


”මගේ තාත්ත මා වෙනුවෙන් ගොඩක් වියදම් කරනවා” ඈ කීවා ය. ”.. තාත්තට සල්ලි තියෙන නිසා හොඳයි”


”චීනය කියන්නෙ සමාජවාදී රටක්නෙ.. ඉතින් කොහොමද ඔයාගෙ තාත්තාට අනික් අයට වඩා සල්ලි තියෙන්නෙ?”


ඈ මගේ ප‍්‍රශ්නය නොතේරුණා සේ සිනාසුණා ය.


”තාත්තට කම්හල් තියෙනවා.. ඒවායෙ මිනිස්සු වැඩ කරනවා.. තාත්තා ඒ අයට පඩි ගෙවනවා.. ඒ ව්‍යාපාර වලින් තාත්තට සල්ලි ලැබෙනවා” ක්වින්ෂියා විස්තර කළා ය.


චීනය නම් වන සමාජවාදී රාජ්‍යයේ ක්වින්ෂියාගේ පියා වැනි කම්හල් හිමි ධනවතුන්ද සිටින බව දන්නේ කීයෙන් කීදෙනාද? කම්හල් හිමියන් ධනවතුන් සමාජය හූරා කන්නන් යයි ඔවුන්ට වෛර කරන ලංකාවේ සමාජවාදීන් චීනය යනු සැබෑ සමාජවාදී රටක් නොවන බවට තර්ක කරනු ඇත. සැබෑ සමාජවාදී රටක් මේ මිහිමත කිසිදා බිහි නොවන බව ඔවුන් ඉක්මණින් තේරුම් ගත යුතු ය.


දෙවන චීන යුවති යමට හමුවන්නේ මගේ උපාධිය හමාර කර ඔස්ටේලියා රජයේ පර්යේෂණායතනයක් වන සීඑස්අයිආර්ඕ CSIRO ආයතනයේ පරිගණක ආකෘති නිමවන්නකු හා ක‍්‍රම ලේඛකයකු ලෙස සේවය කරමින් සිටියදී ය. අපේ කාර්යාලය පිහිටුවා තිබුණේ නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ පහළ කෙළවරේ පිහිටි ”වග වගා” Wagga Wagga නම් නගරයේ පිහිටි චාල්ස් ස්ටර්ට් විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව ඒ භූමියේ ම ය. (වග වගා යනු  ඕස්ටේ‍්‍රලියාවේ රට අභ්‍යාන්තරයේ පිහිටි විශාලම නගරය යයි අසා ඇත්තෙමි) ඇය පැමිණ සිටියේ ඇගේ ආචාර්ය උපාධිය සඳහා ය. ඒ සඳහා මගේ ප‍්‍රධානියා වූ මහාචාර්ය ඛාන් යටතේ ඈ පර්යේෂණ කරමින් සිටියා ය. ඇයට අසුන්ගන්නට ලැබුණේ මගේ මේසයට යාබද මේසයේ වූ නිසා අපි මිතුරන් වීමු. චීනය සම්බන්ධව දෙවන පාඩම ඇය කියා දුන්නේ ඒ අතර ය.


”උඹල හිතා ඉන්නෙ චීනෙ කියන්නෙ අලූපාට රළු ඇඳුම් ඇඳගෙන උල් තොප්පි දාගෙන හැමතිස්සෙම බයිසිකල් පැදගෙන යන නොදියුණු ජාතියක් හැටියටනෙ.. එහෙමනෙ උඹලගෙ මාධ්‍ය උඹලට කියා දීල තියෙන්නෙ.. ඒත් මං උඹට මෙහෙම කියන්නං.. වෙන කතා  ඕනෙ නැහැ... අපේ රටේ තියන එක මහපාරකට සමාන කරන්න පුලූවන් ඒ තරම් දියුණු ඒ තරම් විශාල එකම එක පාරක් වත් උඹලගේ මේ ඔස්ටේ‍්‍රලියාවෙ නෑ..”


චීනය යනු අද ලෝකය හොල්ලන්නට හැකි ආර්ථික ශක්තියකින් හෙබි රටක් යයි නොළිගන්නා අය දැන් සිටිතැයි මම නොසිතමි. අවශ්‍ය නම් ඇමරිකාව වුද දවසකින් දණ ගස්සන්නට තරම් හැකියාවක් චීනයට ඇතැයි මම කියවා ඇත්තෙමි.  ඇමරිකාවේ අරමුදල් වල ආයෝජනය කර ඇති චීන මුදල් ආපසු ඇද ගත්තොත් ඇමරිකාව හාන්සි වන බව ඒ සටහන් කියයි.


තෙවන චීීන යුවතිය කියා දුන්නේ ඒවාට වඩා හාත්පසින්ම වෙනත් පාඩමකි. ඈ මට හමුවන්නේ  දැන් මා සේවය කරන ආයතනයේදීය. ඇය හමුවූ මුල් දවසේම, ශ‍්‍රී ලාංකිකයන්, හමුවන හමුවන අයගෙන් අසන සම්ප‍්‍රදායික ගොන් ප‍්‍රශ්නයක්  මමද ඇගෙන් ඇසුවෙමි. (ඇත්තමට මා ඒ ප‍්‍රශ්නය ඇසුවේ කුමක් හෝ යමක් අසන්නට අවශ්‍යවූ නිසාම ය. ඒ ඇසුවා ඇසුවාමය.. ආපසු කිසිම දිනෙක ඒ ප‍්‍රශ්නය කිසිවකුගෙන් නාසන්නෙමැයි මම මටම පොරොන්දුවක් දීගත්තෙමි)


”ඔබ බෞද්ධයෙක්ද?”


මගේ ප‍්‍රශ්නය හමුවේ යුවතිය මදක් අපහසුවට පත්වූ බවක් පෙනුණි.


”කෙනෙකුට ආගමක් අවශ්‍යමද?” ඈ මගෙන් පෙරළා ඇසුවා ය. මම නිරුත්තරව බලා සිටියෙමි. ”.. මට ආගමක් නැහැ..” ඉන්පසු ඈ කීවා ය.


ආගමක් නැති අය ගස් ගල් වැනි හිත් පිත් නැති අය යයි සිතන අපේ ඇත්තන්ට මම ඇය පෙන්වා දෙන්නට කැමැත්තෙමි. ඇය තරම් සංවේදී කාන්තාවක මම දැක නැත්තෙමි. ඈ ශක්තිමත් හිතක් ඇත්තියකි. කරුණාවන්තය. දුකේදී කඳුළු සළන්නීය. සතුටේදී සිනාසෙන්නීය. අනෙකාගේ ප‍්‍රශ්න වලදී සංවේදී ය. දුක වේදනාව හඳුනන්නීය. ප‍්‍රදර්ශනාත්මකව ආගම් අදහන්නවුන්ට වඩා මිනිස්කමක් මම ඇය වෙතින් දකින්නෙමි.


”ආගමක් යනු අත්‍යවශ්‍ය දෙයක් ය” යනුවෙන් තිබූ පිළිගැනීම තවදුරටත් මගේ සිතේ නැත.

Thursday, August 17, 2017

මෙල්බන් ගුවන් විදුලියේ ශනිදා සාදයට සීයයි

මෙල්බන් 3zzz ගුවන් විදුලියේ සිංහල අංශයේ සෙනසුරාදා උදේ වැඩ සටහන - ශනිදා සාදය අගෝස්තු 19 වන දා සිය 100 වන වැඩ සටහන ගුවන් ගත කරනවා. එදාට අපි ෆේස්බුක් එකෙන් ඒ වැඩ සටහන සජීවීව විකාශය කරනවා. www.facebook.com/ShanidaaSaadaya/ මෙල්බන් වෙලාවෙන් උදේ හතේ ඉඳන්.  හවස 2 ට ”ශනිදා සාදයට 100යි” උත්සවය ක්රේගිබර්න් හි ලෝන් කෝට් එකේ තියෙන ලක්මැදුර ශාලාවෙදි පැවැත්වෙනවා මෙල්බන් කොන්සල් ජනරාල් ඩබ් ජී එස් ප‍්‍රසන්න මැතිතුමාගෙ ප‍්‍රධානත්වයෙන්. කලාකරුවන් සුබ පතන්නන් රසිකයන් රැසකගේ සහභාගීත්වයෙන්. විශ්වාහිණී රූපවාහිණිය ඒ උත්සවය වීඩියෝ ගත කරනවා ඔවුන්ගෙ රූපවාහිණියෙන් විකාශය කරන්න. ශනිදා සාදය වෙනුවෙන් වෙබ් අඩවියකුත් අපි එදාට එළිදක්වනවා.


මෙල්බන් නුවරින් ගුවන් ගත වන ප‍්‍රජා ගුවන් විදුලි අතරින් වැඩිම ආවරණයක් සහිත ගුවන්විදුලි සේවය 3zzz (ත‍්‍රී ටි‍්‍රප්ල් ඉසෙඩ්). 1989 ජූනි මාසයේ ඇරඹෙන 3zzz ගුවන් විදුලි සේවයෙන් ගුවන් ගත වුණ පළමු ප‍්‍රජා ගුවන් විදුලි වැඩ සටහන ගුවන් ගත වුණේ සිංහලෙන්. ඇත්තටම එදා ගුවන් ගත වෙන්නට නියමිතව තිබුණෙ වෙනත් භාෂාවක වැඩ සටහනක්. ඒ අය මැදිරියට ඇවිත් වැඩ සටහන කළත් ඒ අයගේ නොදැනුවත් කමට ඒ වැඩ සටහන ගුවන් ගත වුණේ නැහැ. ඊළඟට තිබුණෙ සිංහල වැඩ සටහන.  ඒක තමයි පළමුව ගුවන් ගත වුණේ. පළමු සිංහල නිවේදකයා විතරක් නෙවෙයි 3zzz ගුවන් විදුලි සේවයේම පළමු නිවේදකයා වුණේ උපා උපදාස.


මෙල්බන් නගරයේ උතුරුන් පිහිටි බ‍්‍රන්ස්වික් ප‍්‍රදේශයේ දැන් ආරම්භ කර ඇති විකාශන මැදිරි 6 කින් යුත් නවතම විකාශනාගාරයේ සිට ස්වේච්ඡුා නිවේදකයන් 400 ක් දෙනා භාෂා 70 කින් පැය 24 පුරාම වාඩ සටහන් මෙහෙයවන 3zzz ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා උදෑසන 7 සිට 8 දක්වා ගුවන් ගත වුණ වැඩ සටහන පසුගිය කාලයේ පැවතුනේ අභාවයට යන්න ඔන්න මෙන්න තත්වයේ.


2015 සැප්තැම්බර් මාසයේදී මේ වැඩ සටහන මට බාර දෙමින් සිංහල සේවයේ කැූවුම්කරු විල්ෆ‍්‍රඞ් සිරිවර්ධන ඉල්ලූවෙ එකම ඉල්ලීමයි.


”පුලූවන් නම් මේ වැඩසටහන බාර අරගෙන ගොඩදාන්න”


මට කල්පනා කරන්න දේ තිබුණා.


මම 3zzz ගුවන්විදුලියට පළමුවතාවට සම්බන්ධ වෙන්නෙ 2000 අවුරුද්දෙ අසෝක සිල්වා සොයුරාගෙ නායකත්වයෙන් පිහිටවපු කමිටුව හරහා. එදා මට ආරාධනා කලේ රෝහණ කරුණාරත්ත.


”අපි සිංහල වැඩසටහන වෙනස් කරනවා.. අපිත් එක්ක එකතුවෙන්න” ඔහු ඉල්ලා සිටියා. හිටපු කණ්ඩායම ඉවත් වෙලා අපේ කණ්ඩායමට සිංහල සේවයේ පාලනය ලැබුනට පස්සෙ ඇත්තටම අපි යම් වෙනසක් කලා. ඉංග‍්‍රීසි භාෂාවෙන් ප‍්‍රචාරය වෙමින් තිබූ සිංහල සේවයේ සෙනසුරාදා උදේ වැඩසටහන නැවත සිංහලට ගත්තේ මේ කණ්ඩායම. ඒ සඳහා සටනක් කරන්න සිදුවුණා. එදා අපේ කණ්ඩායමේ ප‍්‍රසන්න කුරුකුලරත්න, නුවන් සමරපති, රෝහණ කරුණාරත්ත, වරුණ සාවින්ද, පැතුම් තිලකසිරි, ජගත් මුණසිංහ, බන්දු මුතුතන්ත‍්‍රී, කුඹුකගේ, නෙලුම් අමුනුගම වගේ පිරිසක් හිටියා. සිංහල සේවයේ පුරෝගාමීන් වුණ උපා උපදාස, බන්දු දිසානායක, ඞීබී කුරුප්පු වගේ අය උපදෙස් දෙන්න අප පිටුපසින් හිටියා.


සෙනසුරාදා වැඩසටහන සිංහලට ගත්තට උදේ 7ට ඇවිත් ඒක කරන්න අය හිටියෙ නැහැ. ඒ වැඬේ මගේත් ප‍්‍රසන්න කුරුකුලරත්නගේත් කර පිටට වැටුණා. අපි දෙන්නා අව්ව වැස්ස සීතල බලන්නැතුව උදේ පාන්දර ඇවිත් සෙනසුරාදා සිංහල වැඩ සටහන කළා.


ඒ අවුරුද්දෙ 3zzz ගුවන් විදුලියේ ව්‍යවස්ථාව වෙනස් කරනවා. ඒ තාක් කාලයක් වසරක් පාසා පැවති කණ්ඩායම් නිලවරණ වෙනුවට වසර දෙකකට වරක් නිලවරණ පවත්වන්න තීරණය කෙරෙනවා. අපේ කණ්ඩායමට තෝරාගැනීම් දෙකක් ලැබෙනවා. එක්කෝ තවත් වසර එකහමාරක් සිට නිලවරණයට එන්න. එහෙමත් නැත්නම් මාස අටකින් නිලවරණයට එන්න. අපි ඒ වෙනකොට අපට අවශ්‍ය වෙනස ගුවන් විදුලියේ කර හමාර කර තිබුණා. බදාගෙන සිටීමේ අවශයතාවත් අපට තිබුණෙ නැහැ. ඒ නිසා මාස අටකින් අපි අලූත් කණ්ඩායමකට බලය දීලා ඉවත් වෙලා ගියා. (ඒ කාලෙ දැන් වගේ බස් වලින් සෙනග ගෙනත් කරන ඡන්ද දැමීමේ අතිශය පිලිකුල් සහගත බලූ පොරය තිබුණෙ නැහැ. අලූත් කණ්ඩායමක් ඉදිරිපත් වුණොත් හිටපු කණ්ඩායම ඔවුන්ට රේඩියෝව බර දීලා ඉවත්ව යන සම්ප‍්‍රදායක් තමයි තිබුණෙ)


ඉතින් එයින් පස්සෙ 3zzz ගුවන් විදුලියේ සිංහල අංශයට අප අමතක වෙනවා. එහි දොර අපට වැහෙනවා. ඉඳ හිට සම්මුඛ සාකච්ඡුාවකට හැරෙන්නට ගුවන් විදුලියට ගොඩවෙන්න අපට ඉඩක් ලැබෙන්නෙ නැහැ.


ඒත් යම් දෙයක් අපේ ඇඟ ඇතුළෙ නලියනවා. මේ යන ක‍්‍රමය වැරදියි. මෙයට වඩා යමක් ගුවන් විදුලියෙන් කරන්න පුලූවන් කියන දේ අපට දැනෙනවා. ඒ නිසා 2005 දී 97.4 FM ඔස්සේ ගුවන් ගත වන ප‍්‍රජා ගුවන් විදුලියක මගේ මිත‍්‍ර නිමල් අබයසේකර සමග 'පවන' සිංහල වැඩ සටහන ආරම්භ කරනවා. ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්න මත මම මාස ගණනාවකට පසු එයින් ඉවත් වෙනවා. නිමල් ඒ ගුවන් විදුලිය නවත්වා දැමීමෙන් පස්සෙ අපි මේ ගුවන් විදුලිය නැවත පටන් ගනිමු කියලා මම යෝජනා කරනවා. ශ‍්‍රීනාත් මද්දුමගේ, දසුන් ගජමන් සහ මම මේ කණ්ඩායමට ඇතුල් වෙනවා. ශ‍්‍රීනාත්ගෙ බිරිඳ ශ‍්‍රියාණි 97.4 සේවය සමග ලිපි ගණුදෙණු කර අනුමැතිය ගන්නවා. දසුන් ගජමන්ට සම්බන්ධීකරණය බාර දෙනවා. අපි තිසර නමින් අලූත්ම ආරක වැඩ සටහනක් පටන් ගන්නවා. (තුන් ස්වරයක එකමුතුව කියන අදහසින් තිසර කියන නම යෝජනා කළේ මා ළඟින් හිටි තුෂාරි) තිසර ඉතා ජනප‍්‍රිය වැඩසටහනක් බවට පත් කරන්න අපට හැකිවෙනවා. අවුරුද්දකට විතර පස්සෙ ශ‍්‍රීනාත් අයින් වෙනවා. ඒ කාලෙ ඔහුගෙ අතිජාත මිත‍්‍රයා වෙලා හිටිය මටත් අයින්වෙන්න කරුණු කාරනා සිදුවෙනවා. දසුන් අදටත් වෙනත් නමකින් ඒ වැඩ සටහන පවත්වාගෙන යනවා.


ඒත් ඉතින් ගුවන් විදුලි උණ තාම හොඳ වෙලා නැහැ. මම 2012 දි තිසර නමින් ඔන්ලයින් ගුවන් විදුලි සේවයක් ආරම්භ කරනවා. අදටත් අතින් වියදම් කරගෙන මම පැ 24 පුරා ගුවන් ගත වන තිසර පවත්වාගෙන යනවා.


ඉතින් විල්ෆ‍්‍රඞ් 3zzz සේවයේ සෙනසුරාදා උදේ සිංහල වැඩ සටහන බාරගෙන ගොඩ දාන්න කියලා ආරාධනා කළ වෙලාවෙ මේ සියලූ අතීතය මට කල්පනා වුණා. අවුරුදු ගාණක් පහුවෙලා හරි මේ ආරාධනය කළ එක ගැන ඔහුට ස්තුති කරන්න  ඕනෙ. අපි සියල්ල අලූතින් පටන් ගමු. අපි සාකච්චා කළා. සමාජ නිවේදන සම්බන්ධ කොන්දේසිය සහ තවත් එක කොන්දේසියක් හැරෙන්නට සිංහල කමිටුව පැත්තෙන් ඉල්ලීම් තිබුණෙ නැහැ. මම ඉදිරිපත් කළ කොන්දේසි වලටත් ඔවුන් කැමති වුණා. මම සෙනසුරාදා  උදේ සිංහල ගුවන් විදුලිය බාර ගත්තා. ඒ මෙයට සති 100 කට පෙර. මට මට අවශ්‍ය ආකෘතියට අවශ්‍ය ආකාරයට වැඩසටහන වෙනස් කළා. මේ සති 100 තුළ සිංහල කමිටුවෙන් මට අබමල් රේණුවක් තරම්වත් බලපෑමක් නොවුණ බව ඔවුන්ට ගෞරවයක් ලෙස සටහන් කර තැබිය යුතුයි. මට අවශ්‍ය දේ කරන්න ඔවුන් මට පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා. නිර්මාණයක් කරන්න ඒ නිදහස ඉතා වැදගත්.



මගේ වෙනස් කිරීම් ශ‍්‍රාවකයන්ට අල්ලලා ගිය බව මුළ ඉඳන්ම මට දැනුණා. වැඩ සටහන අසන පිරිස ක‍්‍රමයෙන් වැඩි වෙන්න ගත්තා. ශ‍්‍රාවකයන් සමග සංවාදය තුළින් ඔවුන් තව තවත් ළං කර ගන්න මම උත්සාහ කළා. ඒක අල්ලලා ගියා.


වැඩ සටහනට සම්බන්ධ වෙන්න බොහෝ අය ඉල්ලීම් කළා. ඔවුන් අති දක්ෂයන්. ඒත් මගේ හිතේ යම් ආකෘතියක් තිබුණා. මට අවශ්‍ය වුණේ ඒ ආකෘතියට ගැළපෙන කණ්ඩායමක් හදාගන්න. මගේ මූලිකම කොන්දේසිය වුණේ ”පළමු තැන වැඩ සටහනට” කියන එක. තමන්ගෙ පුද්ගලික අවශ්‍යතා පස්සට ගෙන වැඩ සටහනට පළමු තැන දෙන්න පුලූවන් කණ්ඩායම අන්තිමේ මම ගොඩනගා ගන්නවා. ඒ තේජා කටුගම්පොළ සමග. ඇය පළපුරුදු නිවේදිකාවක්. බුද්ධිමත්. ඇය සමග වැඩ කරන්න පහසුයි. නම්‍යශීලීයි. ”මේක මගේ වැඩ සටහන.. අද මේක දාන්නම  ඕනෙ” කියන ආත්මාර්ථකාමී ඉල්ලීම් ඈ ළඟ නැහැ. වැඩ සටහන එදිනෙදා ඉල්ලන දේ ගැන ඇයට අවබෝධයක් තියෙනවා. ඒ සියල්ලටම වඩා ඇයට මයික‍්‍රෆෝනයක් ඉදිරියේ ක්ෂණිකව ඇසෙන ප‍්‍රශ්නයකට පවා මුහුණ දෙන්න තරම් දැණුමක් සහ හැකියාවක් තියෙනවා. ඒක තමයි සජීවී ගුවන් විදුලියක ප‍්‍රාණවත්බව රැක ගන්න අවශ්‍යම කාරණය. ඒක තමයි නිවේදකයෙකුගේ ප‍්‍රවීණත්වය.


අපි අවුරුද්දක් යන්න කලින් සමස්ථ ඔස්ටේ‍්‍රලියාවේ හොඳම ජනවාර්ගික ගුවන් විදුලි වැඩසටහන් හතර අතරට පත්වෙනවා. ඒක විශාල ජයග‍්‍රහණයක්.


 ඕනෑම උත්සවයකට පන්සලකට සමාජ වැඩකට ගියාම හමුවන නාඳුණන අසන්නන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර අප විශ්මයට පත් කළා. ඔවුන් අපට කොයි තරම් ආදරය කරනවාද යන්න දැනෙන විට අපි තව තවත් උනන්දු වුණා. ඔවුන්ගේ සුබ පැතුම් සහ හෘදයංගම බව අප ඉදිරියට ගෙන යන ගාමක බලවේගය බවට පත්වුණා.


පහුගිය වෙසක් දා යුරෝක් පන්සලේ භක්ති ගීත ගායනයේ නිවේදක කටයුත්ත කරලා වේදිකාවෙන් බහින වෙලාවෙ මා ළඟ ඇවිදගෙන ආව මා නාඳුනන හිතවතා මට තාම මතකයි.


”ජගත්.. ඔයා කොහොදි හරි හමුවෙකල් මං බලාගෙන හිටියෙ.. මට අහන්න තියෙන්නෙ එකම එක ප‍්‍රශ්නයයි.." ඔහු ඇසූ ප‍්‍රශ්නයට දෙන්න මා ළඟ උත්තරයක් නැහැ. ”අනෙක් අය ගැන අපි හිතන්නෙ නැහැ... අපි අපේ වැඬේ උපරිමයෙන් කරගෙන යන්න උත්සාහ කරනවා” මං කිව්වෙ එච්චරයි.


ශනිදා සාදය ආරම්භයේ සිටම මං විශ්වාස කළ දෙයක් තිබුණා. ඒ අවුරුදු තිහකට වැඩි කාලයක් මාධ්‍ය එක්ක ඉඳලා මට ලැබිල තියෙන ඉව. මං ඒ ඉව විශ්වාස කරනවා. මං අමරදේව, නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ වගේ ගායකයන්ට ඉතාම ගරු කරනවා. ඔවුන් අපේ ලෝකයේ දැවැන්තයන්. ඒත් ඔවුන්ගේ දැවැන්ත ප‍්‍රභාවෙන් අනෙක් කලාකාරයන් වසාගෙන ඉන්න එකට මම විරුද්ධයි. විදග්ධ කලාවත් සමගින්ම එයට සමගාමීව ජනප‍්‍රිය කලාවත් පවතිනවාය කියන කාරණය මම විශ්වාස කරනවා. ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ගේ‍්‍රෂන් , මිල්ටන් පෙරේරා, එම් එස්, ඇන්ටන් ජෝන්ස්, ඇන්ජලින්, ලතා, සුජාතා, මර්වින්, ක්ලැරන්ස්, ඇනස්ලි, ඉන්ද්‍රාණි පෙරේරා, මරියසෙල් - දෙයියනේ කොයි තරම් ගායක ගායිකාවන් ඉන්නවද? මේ අයගෙ හොඳ නිර්මාණ ජනප‍්‍රිය නිර්මාණ නැද්ද? කොයි තරම් තියෙනවද? ඇයි මේ බොහෝ මෙල්බන් සිංහල ප‍්‍රජා ගුවන් විදුලි ඔවුන්ගෙ ගී ප‍්‍රචාරය නොකරන්නෙ? මේ ප‍්‍රශ්න මගේ හිතේ ගොඩ ගැහුණා. වෙනසක් කරන්න බොහෝ අය බයයි. ඒත් අපි කොටුවෙන් පිට හිතන මිනිස්සු. අප කළ වෙනස ගැන අපට සතුටුයි. අද මේ සමහර ගුවන් විදුලි වලට තමන් කොටු වෙලා හිටිය රාමු වලින් පිට පනින්න සිදුවෙලා තියෙනවා. ඒක හොඳ ලක්ෂණයක්.  සතුටට කාරණයක්. මිත‍්‍රවරුණි. කොටුවෙන් පිට හිතන්න. ඒක තමයි අපි ඔවුන්ට දීපු පණිවිඩය.


”හැටේ දශකයේ සින්දු දාලා රේඩියෝ එකක් ජනප‍්‍රිය කරන්න බැහැ” ශනිදා සාදය ආරම්භ කළ දවස් වල මට ඇහෙන්න ඇණුම් පද කීව අය හිටියා. සමහරු නම ගිය කලාකරුවෝ. මං නෑහුණා වගේ හිටියා. මගේ වැඬේ කරගෙන ගියා. අපට අප ගැන කිසිම අවිශ්වාසයක් නැහැ. අප යමක් කරන්නෙ ඉතාම දැනුම්වත්ව.


අප විශ්වාස කළ පිරිසක් අප වටේ එකතු වුණා. අදත් එකතු වෙනවා. ප‍්‍රවීණ මාධ්‍යවේදී අසෝක තිලකරත්න, ගාමිණී පැළෑඳ, මහීල් මුණිදාස, දයාන් රණසිංහ, දේවිකා සේනාධීර, චින්තක සිරිකුමාර, දිනෙල්කා දර්ශණී , සඳමාල් වර්ණකුලසූරිය, නුවන් සමරපති, ඉන්දික රුවන්පතිරණ, ලංකාවේ සිට උදව් කළ නැසීගිය තරුණ ගුවන් විදුලි ශිල්පියා නුවන් ඇතුළු පිරිස කොහොම අමතක කරන්නද? හෙට අනිද්දා ශනිදා සාදයට අලූත් වැඩසටහන් සමග එකතුවෙන තවත් අය ගැන අපි පසුව කතා කරමු.


අපට අලූත් අදහස් හිඟයක් නැහැ. අලූත් වැඩ සටහන් රැසක් අපි ඉදිරියේදි ශනිදා සාදයට ගේනවා. අපේ පැය පුරවන්න අවශ්‍ය තරමටත් වඩා වැඩි වැඩසටහන් ප‍්‍රමාණයක් අප ළඟ තියෙනවා. ඒ නිසා හැම වැඩ සටහනක්ම සතිපතා විකාශය කරන්නත් අපට ඉඩ නැහැ. ඒක එක අතකින් හොඳයි. වැඩ සටහනේ විවිධත්වය රැුක ගන්න ඒක හොඳ දෙයක්. අපේ පැයේ හැම තත්පරයක්ම අපට වටිනවා.


අනිත් අයටත් අපි සහෝදරත්වයෙන් කියන්නෙ අලූතින් හිතන්න. අපව අනුකරණය කරන්න එපා කියලයි.


99 වන වැඩසටහනෙදි තේජා අපූරු කතාවක් කිව්වා.


”ශනිදා සාදය ආමන්ත‍්‍රණය කරන්නෙ ඔබේ බුද්ධියට පමණක් නෙවෙයි. ශනිදා සාදය ඔබේ හදවතටත් කතා කරනවා”


අපි මේ තාක් කාලයක් කරගෙන ආවෙ ඒක තමයි වුණත් පළමු වතාවට ඒක වචන වලට හැරෙව්වෙ තේජා. 99 අවසන් කරලා ගෙදර ගියාට පස්සෙ මගේ හිතේ දෝංකාර දුන්නෙ ඒ වචන. ඒ කතාව කොයි තරම් ඇත්තද?


”අද වැඩ සටහන අහනකොට අපේ ඇස් වලට කඳුලූ ආවා” කී දෙනෙක් නම් එහෙම කියලා දුරකතන ඇමතුම් දීලා තියෙනවද? තමන්ගෙ පුද්ගලික දුක් වේදනා දුරකතනයෙන් අප සමග කී දෙනෙක් නම් කියලා තියෙනවද? ඔවුන් සනසන වදනක් අපෙන් ලැබෙන බවට ඔවුන් තැබූ විශ්වාසය නොකඩන විට ඔවුන් කොයි තරම් සතුටට පත්වුනාද? මේ ඔස්ටේ‍්‍රලියාවේ කිසිම සිංහල ගුවන් විදුලියක් අත්නොවින්ද සබඳතාවක් - අත්නොවිඳි සංවේදනයක් නොවේද? අපට එයිටත් වඩා සතුටක් අවශ්‍යද?


තේජා කිව්ව කතාව ඇත්ත. ශනිද සාදය හදවතක් තියෙන ගුවන් විදුලියක්. ඒ නිසා තමයි 100 ක් පිරෙන අගෝස්තු 19 වෙනිදා මම ගුවන් විදුලියට අලූත් පාඨයක් හඳුන්වාදෙන්නෙ.


”ශනිදා සාදය - හදවතක් ඇති ගුවන් විදුලියක්”






Tuesday, August 15, 2017

බටඅත මතක නැවතත්

අපේ තාත්තගෙ බීඩි ව්‍යාපාරය පවත්වාගෙන ගිය බටඅත පුරන්ව ගිය වෙල්යායට මායිම්ව තිබුණ පුංචි ගේ ගැන මං මීට කලින් ලියලා තියෙනවා. තාත්තා හම්බන්තොට කච්චේරියේ ඉතිරිකිරීමේ ව්‍යාප්ති නිලධාරියකු ලෙස සේවය කළ කාලයේ තමයි ඔය ඉඩම බටඅත පදිංචි කෙනෙකුගෙන් මිලට අරගෙන තිබුණෙ. එක්දාස් නවසිය පනස් ගණන්වල ඉඩම ගන්න වෙලාවෙ තාත්ත ඒ මිනිස්සුුන්ට කටවචනයෙන් පොරොන්දුවක් වෙලා තිබුණා.


”මං කවද හරි මේ ඉඩම විකුණනවා නම් තමුසෙලාටම දෙනවා”


මාතර කතරගම පාරෙ බටඅත වෙල්යාය පහුකරනකොටම තිබුණ කාමර දෙකක මේ ගෙදර බිත්තියේ ලෙකු අකුරින් ”බටඅත බීඩි කර්මාන්තශාලාව” කියලා ඇඳලා තිබුණා. ගේ ඉස්සරහින් ”බටඅත කැලය” නමින් ප‍්‍රසිද්ධව තිබුණ මහ කැලේ.


තාත්තා රට වටේ ගිය දුෂ්කර සේවය අවසන් කරලා අපේ ගම වෙච්ච නුගේගොඩ ස්ථිර පදිංචියට නැවත ආවට පස්සෙත් අපි ඉස්කෝලෙ නිවාඩු කාලෙට බටඅත යන පුරුද්දක් තිබුණා. (මේ කාලෙ වෙනකොට බීඩි ව්‍යාපාරය නැවතිලා) කෝච්චියෙන් මාතරට ගිහින් එතන ඉඳලා බස්එකේ බටඅතට යන ගමනට අපට රසවත් එකක් වුණා. ඒ කාලෙ බටඅත ගමේ හිටිය පුංචි මිනිස්සු තාත්තට ආදරෙයි. අපි එහේ ගියාම බොහොම සාදරයෙන් පිළිගන්න හැටි තාම මතකයි.


අර පුංචි ගෙදර ඇරලා අපි සතියක් හමාරක් බටඅත නැවතිලා ඉන්නවා. විවේක සුවයෙන්. කැලේ අයිනෙන් වැටිලා තිබුණ පාරෙන් ගිහින් බටඅත වැවෙන් නානවා. එහෙමත් නැත්නම් හුංගම වැවට යනවා.

බටඅත ගමේ අය අපි බලන්න ආවාම හුංගම මං ඉපදුණ කාලෙ කතා, අපේ අක්ක බටඅත ඉඳන් පයින්ම හුංගම විජයබා විද්‍යාලයෙ හෝඩියෙ පන්තියට ගිය කතා, කතාවෙනවා.


පුරන් වෙල්යාය පටන්ගන්න තැන පුංචි තේ කඩයක් තිබුණා. මම සමහර වෙලාවට ගිනි කාස්ටකේ තියෙද්දිම වෙල හරහා මහ පාර දිගේ ඇවිදගෙන යනවා අර කඬේට ඥානකතා ගන්න. ඒ කාලෙ දැන් වගේ පියාඹන වාහන තිබුණෙ නැති නිසා පුංචි දරුවකු වුණ මගේ ඒ ගමන අවදානම් එකක් වුණේ නැහැ.


වාහන ගියේ බොහොම අඩුවෙන්. වැඩියෙන්ම ගියේ මගී ප‍්‍රවාහනයේ යෙදුණ ”ඩෙ‍්‍රපරි” කියලා හැඳින්නුව පුංචි බස් ජාතියක්. බස් එකක් කිව්වට පුංචි ලොරියක් වගෙයි. බොඩිය ලී වලින් හදල තිබුණෙ. දෙපැත්තෙන් කවුළු. ලී බංකු. මිනිස්සු ඒ වාහනේට නැග්ගෙ පිටිපස්සෙන් කිබුණ පඩියකින්. බස් ජනසතු කරලා තිබ්බ කාලෙකත් ඒ වගේ පුද්ගලික ප‍්‍රවාහණ සේවයක් තිබුණෙ කොහෙමද කියලා අදටත් මං දන්නෙ නැහැ.


පළමු සහ අවසාන වතාවට තලප කෑවෙත් බටඅත ගමනකදිම තමයි. කුරහන් තලප කියන්නෙත් හැලප වගේ පැණි රස කෑමක් තියලයි ඒ කාලෙ මං හිතා හිටියෙ. ඒත් තාත්ත ළඟ කාලයක් වැඩ කරපු පියදාස අපට කන්න තලප හදාගෙ ආවට පස්සෙ තමයි මට තරු විසිවුණේ. මුව මස් හොද්දක පොඟවලා ගුලි පිටින් තලප ගිලින එක පුංචි අපට හුඟක් අමාරු වුණා.


තාත්ත විශ‍්‍රාම යන කාලෙ වෙනකොට බටඅත ගේ සහ ඉඩම රැකගැනීම අපට ප‍්‍රශ්නයක් වෙලා තිබුණා. සමහර අය ඒක අල්ලගන්න උත්සාහ කරන බවක් පෙණුනා. පියදාස මේ කාලෙ වෙනකොට බටඅතින් පෙළවහක් කරගෙන එහෙම පදිංචි වෙලා හිටියෙ. පියදාස අදටත් තාත්තත් අපටත්  බොහොම හිතවත් කෙනෙක්.  දැන් වුණත් කතරගම යනවා නම් අපි බටඅත පියදාසගෙ ගෙදරට ගොඩවලා තමයි යන්නෙ.


”මහත්තයෝ පොඩි කඩ කෑල්ලක් දාගන්න ඒ ඉඩම මට දෙන්න” කියල පියදාස ඉල්ලූවා. ඇත්තටම ඒ ඉඩම කඩ කෑල්ලකට එහෙමත් නැත්නම් රෙස්ටුරන්ට් එකකට කියාපු තැන.


”බෑ පියදාස.. මං අර මිනිස්සුන්ට පොරොන්දුවක් වෙලා තියෙනවා ඉඩම විකුණනවා නම් ඒ අයටම දෙනවා කියලා” තාත්තා කිිව්වා.


”ඒ අය අතේ ඉඩම ගන්න සල්ලි නෑ මහත්තයා” පියදාස කියනවා.


”කමක් නෑ”


තාත්තා අර මිනිස්සුන්ට පණිවුඩයක් යවනවා මුද්දර ගාස්තුව විතරක් හොයාගෙන එන්න කියලා. අවුරුදු තිහකටත් කලින් කට වචනයෙන් වෙච්ච පොරොන්දුව ඉෂ්ඨ කරමින් තාත්තා බටඅත ඉඩම ආපහු අර මිනිස්සුන්ටම නොමිලයේම ලියලා දෙනවා.


”ලක්ෂ ගාණක් පාඩු වුණත් වචන වෙනස් කරන්න බෑ පුතේ” තාත්ත කිව්වෙ එහෙමයි.



පසු සටහන

මේ කතාව මතකයට ආවෙ අම්මව සිහිපත් කරමින් නංගි මූණුපොතට දාල තිබුණ සේයාරුවක් දැකීමෙන්. ඒ පින්තූරෙ තාත්තගෙ අතින් කොටසක් වැහෙන්න යම් පාටක් ගාලා තියෙන බව පෙනෙනවා. පාට ගාලා ඒ කොටස වැහුවෙ අපේ මාමා - නැසීගිය චිත‍්‍රශිල්පී - සිනමා කලා අධ්‍යක්ෂක - ස්ටීවන් ගුණතිලක. එහෙම කළේ අම්මගෙ පින්තූරෙ වෙන් කරලා ගන්න. අම්මගෙ ඒ පින්තූරෙ දාලා තමයි තාත්තගෙ ”බියුටි බීඩි” පැකට් එක නිර්මාණය කරලා තිබුණෙ. ඒ කාලෙ ඩිජිටල් වැඩ තිබ්බෙ නෑනෙ. හැම කලා නිර්මාණයක්ම අතින් තමයි.

අපේ අම්මගෙ නම බියටි‍්‍රස්. ඒ නමෙන් තමයි තාත්ගෙ ව්‍යාපාර වලට යෙදුණ ”බියුටි” නම ආවෙ. බියුටි බීඩි, බියුටි පපඩම්, බියුටි ස්ටෝර්ස් කූල් ස්පොට් ඇන්ඞ් ෂූ පැලස්

Sunday, August 6, 2017

සතුටට ලියමි

ආශා ඩී පෙරේරා කිවිඳියගෙ පළමු කවි පොත අගොස්තු 19 වෙනිදා නිකුත් වෙනවා. මං හිතුවෙම නැති මොහොතක ඈ ඇගේ පොතේ පෙරවදන මට ස්කෑන් කර එවනවා.


මේ වගේ පුංචි සටහනක් ඇති ඇහැට කඳුලක් එක් කරන්න.


සැරින් සැරේ ලැබෙන මේ වගේ කෘතවේදීත්වය හඟවන සටහන් කියවද්දි හිතට ඇතිවෙන්නෙ අහිසංක සතුටක්. අඬබෙර නොගැහැව්වට මං නිෂ්ශබ්දව යමක් කරළා තියෙන බව ඒ සටහන් මට කියනව. ජීවිතේට ඒ සතුට ඇති.


2001 අවුරුද්දෙ කැටපත් පවුරවෙබ් අඩවිය ආරම්භ කළ දා ඉඳන් අද දක්වා කොයි තරම් අලූත් නිර්මාණකරුවන් කාරියන් රැසක් මං දිරිමත් කරලා තියෙනවද කියලා කල්පනා කරද්ද මටම පුදුමයි. ලෝකෙ හතර දිග්බාගෙ ඉඳන් කැටපත් පවුරට ලියපු බොහෝ කවියන් කිවිඳියන් ඒ බව සිහිපත් කරමින් වරින් වර එවන ඊමේලයක දැවටුණ සුන්දරත්වය මෙතෙකැයි කියන්න බැහැ.


අන්තර්ජාලයේ මුල් අවදියේ, අන්තර්ජාලයේ සිංහල හිඟවුණ ඒ අවදියේ, මූණූපොතක් නොතිබුණ ඒ අවදියේ කැටපත් පවුර හරහා සිදුවුණ කාර්යභාරය ගැන කිසි කෙනෙක් ඇහැක් ඇරලා බැලූවෙ නැහැ.


යමක් කළේ තරංග ජයසේන ඇතුළු බූන්දියෙ කොල්ලො කෙල්ලො ටික විතරයි. කටක් ඇරලා යමක් කිව්වෙ කේ කේ සමන් කුමාර විතරයි.


(අන්තර්ජාල කවිය පිළිබඳ පර්යේෂණ නිබන්ධයක් කරමින් ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නම් ළඟදි කතා කරලා විස්තර ටිකක් ඉල්ලා ගත්තා)


කැටපත් පවුර පහළට දාන්න කුහක කම් කළ අය නම් අඩු නැතිව හිටියා.. ගාණක් නැහැ ඒ ගැන.. මට මොකද? ඒ අයගෙ සතුටනෙ..


සමහරවිට වැරැද්ද මගෙම වෙන්න ඇති. යමක් කරබාගෙන කරනවා විනා අණබෙර ගහන්න නොගිය එක මගෙම වරද වෙන්න ඇති. ලංකාවෙ කිසිම පත්තරේක කැටපත් පවුර ගැන එක වාක්‍යයක් වත් නොලියවුනේ ඒ නිසා වෙන්න පුලූවන්. (අර කවුද කිව්වා වගේ මං ගෑල්ලමයෙක් නොවෙච්ච නිසා වෙන්නත් ඇති)


විවිධ පත්තරවල මං අඳුණන අය කොයි තරම් හිටියත් මං කවදාවත් කටක් ඇරලා ඉල්ලලා නැහැ මේ ගැන යමක් ලියපං කියලා.  මං එහෙම ඉල්ලීමක් කළා නම් කවදාවත් ඒක අහක දාන්නෙ නැති බවත් මං දන්නවා..


”කැටපත් පවුරරට අවුරුදු පහක් පිරුණා.. දහයක් පිරුණා... පහළොවක් පිරුණා..” ඒ කිසිම වෙලාවක මට ඒව ලෝකෙට කියන්න අමතක වුණා..


මං ඔන්න ඔහෙ කරබාගෙන යනවා.. අදත් එහෙමයි. හෙටත් මං මට ඇහැක් විදිහට අලූත් කොල්ලෙකුට හරි කෙල්ලෙකුට හරි අතක් දෙනවා.. උන් ආදරෙන් එවන ඊ්මේල් කෑල්ල මට රටක් වටිනවා..


යන දාක මං අරන් යන්නෙ ඒ සුන්දර මතක විතරයි..

Wednesday, August 2, 2017

මෙය සාධාරණ සටනක් නොවේ

රාජපක්ෂ ආණ්ඩුකාලයේ ගුවන්විදුලියට අරක්ගෙන සිටි හඞ්සන් සමරසිංහ ”රට යන අත” නම් හඩු වැඩ සටහනක් සෑම දිනකම උදෑසන ගුවන් ගත කළේ ය. එහි ප‍්‍රධාන අරමුණ ඔහුට කතා කරන්නට වේදිකාවක් තනා ගැනීමත් රාජපක්ෂට විරුද්ධව සිටින්නවුන්ට අපහාස අවලාද නැගීමත් ය. මෙය අසා සිටින්නට අප‍්‍රසන්න වැඩසටහනක් වුවත් විනෝද සමය අසන්නාක් මෙන් මම ද දිනපතා මේ වැඩ සටහනට සවන් දෙමින් සිටියෙමි.


එක්තරා දවසක මේ හඩු වැඩ සටහනේ අපූරු යමක් සිදුවිය. හඞ්සන් සමරසිංහ එදින කතා කරමින් සිටියේ ලංකාවේ උසස් අධ්‍යාපනය ගැන ය. එක් අවස්තාවක සජීවී ලෙස වැඩ සටහනට දුරකතනයෙන් සම්බන්ධ වන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින්නේ යයි ඇයම කීවාය. කතා කිරීමේ අරමුණ චෝදනාවක් කිරීම ය. ඇය ඉදිරිපත් කරන්නේ අපූරුම චෝදනාවකි. නිකම්ම නොවේ. අඬන සයිස් එකෙනි.


”අපි දුක් මහන්සි වෙලා වැඩි ලකුණු අරන් විශ්ව විද්‍යාලයට ඇවිත් මහන්සි වෙලා පාඩම් කරලා ගන්න උපාධියම අඩු ලකුණු ගත්ත බාහිර උපාධියට ලියාපදිංචි වෙච්ච අයටත් දෙන එක සම්පූර්ණ වැරදි වැඩක්..” ශිෂ්‍යාවගේ චෝදනාව එබන්දකි. ඇය පුන පුනා කියන්නේ ඒ උපාධිය විශ්ව විද්‍යාලය  තුළ ඉගෙනුම ලබන අයට පමණක් සීමා විය යුතු බවම ය.


රට යන අත වැඩසටහනේ හඞ්සන් සමරසිංහ ඇසූ හොඳම ප‍්‍රශ්න දෙකෙන් පළමුවැන්න ඔහු ඇසුවේ එවිට ය.


”එතකොට මේ දරුවා කියන්නෙ ඒ බාහිරව ඉගෙන ගන්න ළමයින් උපාධිය ගන්නෙ පාඩම් කරන්නෙවත් නැතුවයි කියන එකද?”


”ඒව මං දන්නෙ නෑ.. මං කියන්නෙ ඒ අයට අපේ උපාධියම දෙන එක වැරදියි කියලයි.. ඒක මහන්සි වෙලා විශ්ව විද්‍යාලයට එන අයට කරන අසාධාරණයක්.. බාහිර උපාධි දීම නවත්තන්න  ඕනෙ.. ”


හඞ්සන් ගේ දෙවන හොඳම ප‍්‍රශ්නය ඊළඟටය.


”එහෙම නං මේ ළමය කියන්නෙ විශ්ව විද්‍යාලයට යන්න ලකුණු කීපයක් අඩුවුණ දරුවො මොනා කරන්න  ඕනෙ කියලද? ගස් නගින්න.. පොල් කඩන්න.. එහෙමද?”


ශිෂ්‍යාව එතැනින් එහාට කතා කළේ නැත.


තමන්ගේ පරපුරේ එවුන්ට උසස් අධ්‍යාපන මග වසා දමන්නට පෙළපාලි යන අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේත් අර ශිෂ්‍යාවගේත් වෙනසක් මා දකින්නේ නැත. කුහක කමට එහා ගිය දෙයක් මෙහි නැත.


ධනපතියන්ගේ දරුවෝ එංගලන්තයට ඇමරිකාවට  ඕස්ටේ‍්‍රලියාවට හෝ අඩුම ගානේ නේපාලයට බංග්ලාදේශයටවත් ගොස් උපාධි ලබා ගනිති. කෙළවෙන්නේ කොහොම කොහොමින් හරි මුදලක් සොයාගෙන අධ්‍යාපනයක් ලබා ඉදිරියට යන්නට වෙහෙසවන මධ්‍යම පාන්තික දරුවන්ටම පමණකි.


මේ සටනට ජනතා සහයක් නැත්තේ ඒ නිසාම ය.